Sunday, August 24, 2014


මන් පොඩි කාලේ හිතන් හිටියේ මචන් කිස් කලාම තමයි බබාලා හම්බවෙන්නේ කියලා. දවසක් මායි අපේ අල්ලපු ගෙදරට ඇවිත් හිටපු එයාලා අඳුරන කට්ටියකගේ දුවෙකුයි සෙල්ලන් කර කර හිටියා. එතකොට අපි දෙන්නා හතර වසරේ වගේ ඇති. සෙල්ලන් කර කර ඉද්දි අපි දෙන්නා හැප්පිලා තොල් දෙක වැදුනා. වැදුන ගමන මන් අම්බානෙක බය වුනා. මන් එයාට කිව්වා ඔයාට දැන් බබෙක් හම්බවෙයි අපි දෙන්නගේ තොල් දෙක වැදුනනේ කියලා. ඒකි කියනවා ෂොයිනේ මට එතකොට බෝනික්කව විසික් කරලා බබා එක්ක සෙල්ලන් කරන්න පුළුවන් කියලා.
මන් ඒකිට ගිහින් කට හෝදන්න කියලා සිය සැරයක් විතර කිව්වා ඒකි ඇහුවෙම නැ. ඊටපස්සේ මට මල පැනලා ඒකිට ගැහුවා ඒකිත් මට ගැහුවා. දැන් දෙන්නම බිම පෙරලි පෙරලි ගහගන්නවා. කොහොමහරි මන් ඒකිට අම්බානෙක ගහලා එක කකුලකින් ඒකිව ඇදගෙන ගියා ටැප් එකක් ලඟට කට හෝදන්න, ඇයි මන් හිතන් හිටියේ එහෙම වුනාම බබාලා හම්බවෙනවා කියලනේ. ඒකි යක්ෂනියක් වගේ බෙරිහන් දිදි කෑගැහැව්වා මන් ඇදන් යද්දි. ඒ සද්දෙට අපේ අම්මලයි එයාලගේ ගෙදර අයයි අහල පහල අයයි ඔක්කොම දුවන් ආවා.
කට්ටිය එකතු වෙලා දෙන්නව බේරලා දෙපැත්තට දාලා මගෙන් ඇහුවා ඇයි ගහන්නේ කියලා. මන් ඉතින් කිව්වා මෙහෙම තොල් දෙක වැදුනා මට තාත්තා කෙනෙක් වෙන්න බැ මෙයාට කට හෝදන්න කිව්වම කරන්නේ නැ කියලා. කට්ටිය දැන් හක හක ගගහා හිනාවෙනවා මට තවත් මල. මට තරහා වැඩි කමටම ඇඬෙන්න පටන් ගත්තා. දැන් මන් අඬනවා අරකිගේ කට හෝදන්න කියලා ඒකි අඬනවා කට හෝදන්න බැ ඒකිට බබෙක් ඕනේ කියලා. එක විකාරයයි දැන් මුළු පැත්තෙම.
මන් එක දිගට බිම පෙරලි පෙරලි ඇඬුවා ඒකිට කට හෝදන්න කියලා. පස්සේ ඒකිගේ නැන්දා වතුර කෝප්පයක් අරන් ඇවිත් අරකි බැ බැ කියද්දි දෙකක් දීලා කට හේදෙව්වා. ඊටපස්සෙ මන් බිම බලන් හොරෙන් හිනා වෙවි ගෙදරට ආවා ඒකි අඬ අඬ ගෙදරට ගියා. ඊට පස්සෙත් අපි පොඩි කාලෙදි ඒකි ආවා අපේ පැත්තට පස් හය පාරක් ඒත් ඒ වෙද්දි අපි දෙන්නා සැර තරහාකාරයෝ. මන් ඒකීට ඔරවනවා ඒකි මට ඔරවනවා.
ඊටපස්සේ දවසක් අපි ඕලෙවල් කාලෙදි අහම්බෙන් මූණට මූණ හම්බවුනා එතකොට ඉතින් දෙන්නම දන්නවනේ බබාලා හම්බවෙන්නේ කොහොමද කියලා දෙන්නටම එක පාරට හිනා ගියා ඒත් ලැජ්ජාවට එදා කථා කලේ නැ. අද නුගේගොඩදි අපි දෙන්නා ආයේ අහම්බෙන් හම්බවුනා අදනන් ගොඩක් වෙලා කථා කර කර හිටියා. 

මන් පොඩි කාලේ....

  • Uploaded by: Unknown
  • Views:
  • Category:
  • Share

    0 comments:

    Post a Comment

     

    Our Team Members

    Copyright © Onadeyak ඕනදෙයක් | Designed by Templateism.com | WPResearcher.com